කදිරගාමර් ඝාතකයින්ට තොරතුරු දුන් ලාංකිකයෙකුට ජර්මනියේ දී සිරදඬුවම්
හිටපු විදේශ අමාත්‍යවරයෙකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් දඬුවම් නියම කර තිබේ. ජර්මනියේ ස්ටුඩ්ගාඩ්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් අදාළ දඬුවම නියම කර ඇති බව ජර්මානු මාධ්‍ය වාර්තා කර ඇත. හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ස්ථානය පිළිබඳව එල්.ටි.ටි.ඊ. සංවිධානයට තොරතුරු ලබාදී ඇති බවට අදාළ විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ජී.නවනීදන් නමැති එම පුද්ගලයාට ජර්මානු නීතියට අනුව වසර 06ක සහ මාස 10ක සිරදඬුවමක් ලබා දී ඇති බව වාර්තා වෙයි. 2012 වර්ෂයේ ජර්මනීයේ සරණාගතභාවය සදහා ඉල්ලුම් කර ඇති මොහු එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකු බව ද අනාවරණය වී තිබේ. සරණාගතභාවය ලබාදීමට පැවති සම්මුඛ පරීක්ෂණයේදී විත්තිකරු විසින් ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් බවට ප්‍රකාශ කර ඇති අතර පසුව ඔහු විසින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය. 2005 වර්ෂයේ අගෝස්තු 12 වන දින කොළඹ පිහිටි සිය නිවසේ දී එල්.ටි.ටි.ඊ. ස්නයිපර් තුවක්කුකරුවෙකු විසින් හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කරනු ලැබුවේය.
No comments:
Post a Comment